Pages

Sunday, January 29, 2012



විසල් මුදු ගගනත
සරසවන සරා සඳ නුඹ
ළංවෙන්නද කෝම
ඈතයි පයැති පොළවට..

නිසල් සුව විල් තෙර
මැද පිපි සුදු නෙළුම නුඹ
අරගන්නද කෝම
ගැඹුරුයි පිරුණු ජලකඳ..

සයුරු වෙරළේ කොන ඉඳ
පෙනෙනා ක්ෂිතිජ ඉම නුඹ
පිළිගන්නද කෝම
දැන දැනත් ගෝලයක් බව ලොව..

සරණ නැති දිවි කතරක
මිරිඟු නෙක නෙත රවටන
පවසන්නද කෝම
ඔව්, නුඹත් සම ඉන් එකකට...

Wednesday, January 25, 2012

~'කාලය' - ඇබෑර්තු ඇත~

ප්‍රේමය මියදවන්නට කාලය අවැසි වී ඇත...
කාලය නියම ලෙසකට ඒ හිත් සුව කරනු ඇත...
සදහට උරුම හිත් මත යළි පෙම් වපුරවනු ඇත...
තුටු නෙක පැතුම් පීරා අස්වනු නෙළා දෙනු ඇත...

බෝ හිත් හොරෙන් වැළපෙත්, ඒ හිත් වෙතට යනු මැන...
දුක් පෙම් මියදවන්නට  කාලය අවැසි වී ඇත...

Wednesday, January 4, 2012

~සළඹ හිතක කෑගැහිල්ල~
සියක් මල් පිපුණු උයනේ
ඔබත් එක් මලකි සොඳුරේ
ගුණෙන් බරින් පැහැ දිලුනේ
අඳුන් සේ නෙතේ ඇඳුනේ...

එහෙන් මෙහෙන් මතුවුණු ඒ
රුදුරු බඹර තුඩු වැදුනේ
විෂෙන් සැලුණු පෙති මත්තේ
පිනි කඳුළුය ඇද හැලුණේ...

දාහක් වෙර නැත සොඳුරේ
ළාමක වෙමි සළඹ රැලේ
නුඹ නොදන්න හිත් මත්තේ
ආදරයයි වර ගත්තේ...

එන්නෙමි හෙට පියඹාලා
සවිමත් තටු විදහාලා
බඹර විසෙන් පරවීලා
යන්න එපා සමුදීලා....