Pages

Tuesday, March 20, 2012

~නිවන දුර වැඩි දා~

ළපලු සුළඟේ සිහිල් සැරයට
බෝ පතක් සැලුණා
සියක් ගුණදම් පුරුදු වූ නෙතු
කඳුළු බිඳු රැඳුණා
එදා වාගේම අදත් මට නුඹෙ
කිරි සුවඳ දැනෙණා
කසාවත බර වැඩියි අම්මේ
හිත දුබල හින්දා..


ජීවිතේ තනිමoසලක්
රොද බඳිනු බෑ කිසිදා
කියූ ඔවදන් ඇරන් යමි
බුදු හිමිගෙ මග විමසා
සියල් බැමි ලූ වත් හිතේ
හිස් කොනක නුඹ ඉන්නා
සමා වීයන් මගේ අම්මේ
නිවන දුර වැඩි දා...

Thursday, March 15, 2012






මවයි මිහිපිට
සුරලොවම පැතු..
සුවයි ගුණදම්
පිරුණු හද තතු..
ලඟයි හිත නිති
වුවත් දුර නෙතු..
ඇයයි මතු බුදු
නැමෙන දණ ඇතු..

Saturday, March 3, 2012

-සැළලිහිණියෝ-

ඉතින් තව උඹ කවුළුවෙන්
එබිකම් කරන්, මට කම් නැති
වරක් දෙවරක් නැතොත් සියවර
හඬින් තැලුවත් දොස් නැති
ඔය තුඩින් ඔහු වෙත යවන්නට
අදින් මතු පෙම් පත් නැති
සැලළිහිණියෝ තරහ නෑ මං
පමා වැඩි මම වෙන්නැති..

රිසින් ඉගිළී නීල අහසේ
කොහේ හෝ දුරක නැවතියන්
වැටෙන වැහි බිඳු බරයි කියමින්
මගේ කඳුළට රැවටියන්
කවුළු දොරකඩ බලා ඉමි මම
හිනාවක් මුව තදකරන්
සැළලිහිණියෝ තරහ නෑ මං
වෙන හිත් දෙකක් උඹ යා කරන්..